Friday, May 29, 2015




පොත්ගුල් පුරාණය



අපේ රටේ අතීතය ගැන විමසා බැලීමේදී අවිනිශ්චිත යුගයක්‌ මෙන්ම ඓතිහාසික වශයෙන් වැදගත් වූ යුගයක්‌ ලෙස වළගම්බා රාජ යුගය සැලකිය හැකිය. ගෞතම බුදුන් සමයේ සිට වාචිකව, භාණක දේශකයන් වහන්සේලා පරම්පරාවෙන් පරම්පරාවට දෙමින් ගෙන ආ ශ්‍රී සද්ධර්මය ග්‍රන්ථාරූඪ වූයේ මාතලේ අළු විහාරයේ වීම මෙයට හේතුවයි. මේ වන විට ශ්‍රී ලංකාවේ කඩදාසි හෝ පොත් පත් පිළිබඳ එතරම් සංසරණයක්‌ නොවූ නිසාම, තල්පත් තම්බා වියළා සකසා ලිවීම පිණිස සකස්‌ කර "පන්හිඳ" නම් උල්කටුවෙන් තල්පතේ අකුරු ලියා "කළු මැදීමෙන්" පුස්‌කොළ ග්‍රන්ථ නිපදවූ අතර ඒවා "පුස්‌කොළ පොත්" ලෙස භාවිතයට ගැනිණ.

මහින්දාගමනයේ සිට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය බෞද්ධ විහාරස්‌ථාන ආශ්‍රිතව ගොඩනැංවුන අතර එම අධ්‍යාපනය ලබා දුන් තැනැත්තා "ආචාර්ය" නමින් හැඳින්විණ. එහි අරුත වන්නේ "ආචාර ශික්‍ෂාවෙහි හික්‌මවන්නා" යනුයි. ඔහුගේ ශික්‍ෂණය ලබන්නා ශිෂ්‍යා ලෙස හැඳින්විණ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු පැවති ප්‍රථම ධර්ම සංඝායනාවේ සිට භික්‍ෂු පරම්පරාවේ කැපවීම මත ග්‍රන්ථ තැම්පත් කිරීම සිදු විය. මුළු ලෝකය දෙසම විමසිලිමත්ව විමසා බැලීමේදී පූජ්‍ය පක්‍ෂයේ කැපවීම නිසාම "පොත්ගුල්" පවත්වාගෙන ගොස්‌ ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඇති පොත්ගුල් විහාර මෙයට ආසන්නතම උදාහරණ වේ. මේ අතරින් ක්‍රමවත් පාලන තන්ත්‍රයක්‌ මත ශ්‍රී ලංකාවේ භික්‍ෂු සමාජය විසින් පුස්‌තකාල හෙවත් පොත්ගුල් පවත්වාගෙන ගොස්‌ ඇත. ඉතිහාසගත තොරතුරු අනුව ලංකාවේ පැරණිම පොත්ගුල මහා විහාරය ආශ්‍රිතව ගොඩනැගී ඇත. පුරාවිද්‍යාස්‌ථාන පිළිබඳ නිරීක්‍ෂණයේදී අභයගිරිය, ෙ-තවනාරාමය ආශ්‍රිතව පුස්‌තකාල ස්‌ථාපිතව ඇත. පුරාවිද්‍යා කැනීම් වලදී සොයාගෙන ඇති තොරතුරු අනුව එකල විහාරස්‌ථානවල පොත්ගුල් වෙනුවෙන් ඉඩ වෙන්ව තිබූ බව පෙනේ. මෙම පුස්‌තකාලවල බෞද්ධ ග්‍රන්ථ රාශියක්‌ තිබෙන්නට ඇතැයි සැලකේ. අටුවා, ටීකා හා බෞද්ධ සූත්‍ර ධර්ම මෙම පොත්ගුල්වල තිබෙන්නට ඇත. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් පොත්ගුල් 128 ක්‌ පිහිටවූ බව මහාවංශය පෙන්වා දෙයි. වට්‌ටගාමිණී අභය යුගයේදී එකල් වැසි වූ භික්‍ෂු සත්වයාගේ පරිහානි දැක ධර්මයාගේ චිරස්‌ථිතිය පිණිස පොත් හි ලියූ බව "මහාවංශය (33 පරිච්ඡේදය 143 පිටුව බෞ.ස.ම.) පෙන්වා දෙයි.

භාතිකාභය රජු කල (බු.ව. 524) ග්‍රන්ථකරණ ධුරයෙන් යුක්‌ත භික්‍ෂුනට ප්‍රත්‍යයෙන් උපස්‌ථාන කළ බවත්, අවශ්‍ය පහසුකම් සලසා දුන් බවත් මහා වංශයේ (34 පරිච්ඡේදයේ 148 පිටුව) සඳහන් වේ. එහෙත් මෙම පොත්ගුල් පරිහරණය භික්‍ෂූන්වහන්සේලාට පමණක්‌ සීමා වූ අතර අතලොස්‌සක්‌ වූ සීමාසහිත පිරිසකට භික්‍ෂූන්ගේ අවසරය මත මෙය පරිහරණය කිරීමට හැකි විය. මේ නිසාම ධර්මගත කරුණු දැන ගැනීමේ වැඩි ඉඩකඩ භික්‍ෂූන් වහන්සේට ලැබිණ.

පුස්‌තකාල ඉතිහාසය විමසා බැලීමේදී එය මෙසපොතේමියානු ජන යුගය දක්‌වා ඈතට විහිදී යයි. තෙත මැටි තහඩු මත අක්‍ෂර ලියා පෝරණවල තබා වියළා එවැනිම මැටි කවරවල "මැටි පුස්‌තක" ආවරණය කර රාක්‌කවල පිළිවෙළකට අසුරා තැබීමට තරම් ඔවුන් දක්‍ෂ විය. එම පොත් බොහෝ විට තැම්පත් කෙරුණේ දේවස්‌ථාන හෝ රාජමාලිගා තුළය. එම පොත් ලියවී ඇති විෂයන් වර්ගීකරණයක්‌ සිදුකර ඇති බව පෙනේ. ක්‍රි.ව. 1853 දී ශ්‍රීමත් ඔස්‌ටින් හෙන්රි ලෙයාඩ් (Sir Austin Henry Lyard) නම් ඇසිරියන් පුරාවිද්‍යාඥයා විසින් "තීනා" (THENNA) අගනුවරදී කරන ලද පුරාවිද්‍යා කැනීම්වලදී මෙවැනි මැටි පුස්‌තක දෙදහස්‌ ගණනක්‌ හමු වී තිබේ.

එහෙත් ලොව පෞරාණික විශාලතම පුස්‌තකාලය වාර්තා වන්නේ අලෙක්‌සැන්ඩි්‍රයාවෙනි. මහා ඇලෙක්‌සැන්ඩර් නම් අති ප්‍රබල අධිරාජයා ඊජිප්තු වැසියන්ට කරන ලද මහඟු සේවයට උපහාර ලෙස පළමු ටොලමි රජු විසින් ඇලෙක්‌සැන්ඩි්‍රයාවේ මෙම්පීස්‌ නගරයේදී මෙම පුස්‌තකාලය ආරම්භයට පියවර ගෙන ඇත. පළමු ටොලමි රජුගේ අභිප්‍රාය සඵල කරමින් දෙවැනි ටොලමි රජු විසින් මහා කවි කාල්මවුස්‌ගෙ අනුග්‍රහයෙන් මෙම පුස්‌තකාලය සම්පූර්ණ කිරීමට හැකියාව ලැබිණි. මෙම පුස්‌තකාලයේම විවිධ විෂයන් යටතේ විවිධ ලේඛකයන් විසින් ලියන ලද මැටි හා පැපිරස්‌ ග්‍රන්ථ මිලියන 7 ක්‌ පමණ තැම්පත්ව තිබිණ. එකල විසූ කාලිමවුස්‌ මහා කවියා උසස්‌ ගණයේ විද්වතෙකු වූ අතර දාර්ශනිකයකුද විය. විවිධ භාෂාවන්ට අයත් ආගමික, දාර්ශනික හා විද්‍යා ප්‍රබන්ධ පරිවර්තනය සඳහා ඔහු කළ විශේෂ මෙහෙය ඉතා ඉහළින් අගය කළ යුත්තකි, මෙම විශේෂ මෙහෙයුම සඳහා ලොව පිළිගත් විද්වත් මණ්‌ඩලයක්‌ ඔහුට සහය වූ අතර මෙයින් විශේෂ කණ්‌ඩායමක්‌ වූයේ යුදෙව් විද්වත් කණ්‌ඩායමයි. කිතුණු ආගමේ පරණ තෙස්‌තමේන්තුව ග්‍රීක්‌ බසට පරිවර්තනය කිරීම, බැබිලෝනියානු ඉතිහාසය පරිවර්තනය, මේ අතර ප්‍රධානය. ඒ සඳහා වූ පරිවර්තනයන්ට අටුවාවක්‌ හා විස්‌තර සහිත ඇගැයීමක්‌ද මෙම කමිටුව විසින් කර ඇත.

පුස්‌තකාල ගැන සොයා බැලීමේදී ක්‍රි.පූ. 668 - 626 අතර කාලයේ ඇසිරියාවේ රජ කළ ආසූර්ඛනිබාල් රජුගේ පුස්‌තකාලය අමතක කළ නොහැක. මෙහි මැටි පොත් 20,000 කට අධික ප්‍රමාණයක්‌ තිබුණ, විවිධ විෂයන් යටතේ මෙම ග්‍රන්ථ වර්ගීකරණයක්‌ද තිබිණ.

එහෙත් ඇලෙක්‌සැන්ඩි්‍රයානු පුස්‌තකාලය සදාකාලික නොවීය. ජුලියස්‌ සීසර් අධිරාජ්‍යයාගේ කාලයේ රටේ ඇතිවූ සිවිල් යුද්ධයකින් එම පුස්‌තකාලය විනාශ විය. 3 වන සියවසේ සිදුවූ විශාලතම ෙදවාචකය එය විය. මේ නිසාම ලොව විශාලතම පුස්‌තකාලයක්‌ ලොවට අහිමි විය. එහෙත් පසු කාලීනව නැවත වරක්‌ මාක්‌ ඇන්ටනී නම් රෝම අධිරාජයා මෙය ප්‍රතිසංස්‌කරණය කළද එහෙත් පෙර තරම් අගයක්‌ එහි නොවුණි.

ඒ කෙසේ වුවද මහජන පුස්‌තකාල ආරම්භ කිරීමේ ගෞරවය හිමිවනුයේද රෝමවරුන්ටය. ලොව බොහෝ සමෘද්ධිමත් රාජ්‍ය අතර රෝම යුගය ප්‍රමුඛස්‌ථානයක්‌ ගනී. නොයෙකුත් පහසුකම් යටතේ විවිධ විෂයන් ඔස්‌සේ දැනුම සොයා යන්නන් වෙනුවෙන් වූ ග්‍රන්ථ රාශියක්‌ ඒ ඒ විෂයන් යටතේ මෙම පුස්‌තකාල තුළ තැම්පත් වූ අතර මුල් යුගයේ පැපිරස්‌ පත්‍රවල ලියන ලද ග්‍රන්ථ භාවිත වූ අතර චීන ජාතිකයන් කඩදාසි සොයා ගැනීමෙන් පසු කඩදාසිවල ලියූ පොත් භාවිතයට ගැනිණ.

තවද මේ කාලය තුළ සුළු ආසියාවද ප්‍රබල රාජ්‍යවලින් සමන්විත විය. මෙයින් පර්ගැමම් දේශයේ "යූනිමන්" රජු ප්‍රබල රජ චරිතයක්‌ වූ අතර ඔහුගේ අභිලාෂය වූයේ ඇලෙක්‌සැන්ඩි්‍රයාවට නොදෙවෙනි වූ පුස්‌තකාලයක්‌ තම රටේ ස්‌ථාපිත කරන්නටය. එහෙත් පැපිරස්‌ පත්‍ර තාක්‍ෂණය ඔවුන් සතුව නොතිබූ බැවින් සත්ත්ව හම් පදම් කර එයින් හම්පත්‍ර විශේෂයක්‌ තැනීමට ඔවුනට හැකි විය. එම කර්මාන්තයට දක්‍ෂ වූ "පාර්ගැමින්" වැසියන්ගේ නමින් "පර්ගම්" නමින් එම පත්‍ර හැඳින්විය. පසු කාලීනව මෙය "පාච්මන්ට්‌" පේපර් නමින් හැඳින්විණ.

මැද පෙරදිග ලෝකයේද විශේෂ පුස්‌තකාල තිබූ බව ඉතිහාසය තුළ සඳහන්ව තිබේ. අරාබි නිසොල්ලාසය වැනි කතාවලට මුල් වූ කාන්තාර ආශ්‍රිත නගර වල හා කයිරෝ, බැග්ඩෑඩ් වැනි නගර වල ඉස්‌ලාම් ආගමික කොටස්‌ සඳහා විශේෂ පුස්‌තකාල ක්‍රමයක්‌ තිබූ අතර ශුද්ධ වූ කුරාණය වැනි ආගමික ග්‍රන්ථ හා ඉස්‌ලාම් ආගමික ග්‍රන්ථද ලොව වෙනත් දාර්ශනික ග්‍රන්ථද මෙම පුස්‌තකාලවල තැම්පත්ව තිබිණ. එකොළොස්‌ වන සියවසට අයත් මෙම පුස්‌තකාලවල ගණිතය, තාරකා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, විද්‍යාත්මක ක්‍රම වැනි විෂයන් අලලා ග්‍රන්ථ රාශියක්‌ ද තිබිණ.

මෙම පුස්‌තකාල ක්‍රමය, ව්‍යාපාරික ප්‍රජාවගේ රට රාජ්‍ය සංක්‍රමණය නිසා දොළොස්‌වන සියවස වන විට බටහිර යුරෝපය දක්‌වා ප්‍රචලිත විය. ඒ මගින් විද්වතුන්, ප්‍රාඥයින්, ආධ්‍යාත්මික පාඨකයින් වැනි දැනුම් ක්‍ෂේත්‍රයේ නියුතු විශාල පිරිසක්‌ බිහිවීමට හේතු විය.

ලෝක ඉතිහාසය ගැන කතා කිරීමේදී බ්‍රිතාන්‍ය යුගය අමතක කළ නොහැක. ඒ අතරින් බ්‍රිතාන්‍යයේ ඇන්ග්ලෝ සැක්‌සන් යුගය කීර්තිමත් යුගයකි. එම යුගයේ බ්‍රිතාන්‍යයේ බොහෝ ප්‍රදේශවල පුස්‌තකාල බිහි වූ අතර මෙයින් වැඩි ප්‍රයෝජනයක්‌ ලැබූයේ ආගමික මධ්‍යස්‌ථාන බාර ලිවීමට හා කියවීමට සමත් පූජක පක්‍ෂය වේ. ඔවුන් විවිධ ව්‍යාපෘති කරමින් ඒවා අතින් ලියා චිත්‍ර සටහන්ද ඇතුළත් කර පසු ප්‍රයෝජනය සඳහා පුස්‌තකාලගත කළහ. එහෙත් රටේ ඇති වූ අභ්‍යන්තර සිවිල් යුද්ධයන් නිසා අටවන හෙන්රි රජ කල මෙම පුස්‌තකාල බොහෝමයක්‌ විනාශයට පත් විය. (12 වැනි සියවස)

ක්‍රි. ව. 105 ලොවට නව සොයා ගැනීමක්‌ සිදුවූ වසර ලෙස සැලකේ. චීනයේ විසූ ත්සායිලුන් විසින් කඩදාසි සොයා ගැනීම ලොව නව මඟකට ගෙනයැමට සමත් විය. මේ නිසා කඩදාසි බිහිවූ අතර ක්‍රි. ව. 1450 දී ජර්මන් ජාතික ග්ලිටර්න්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය නිපදවීම නිසා නව ලොවකට පා තබමින් මුද්‍රිත පතපොත බිහිවීම එම සියවසේ ආශ්චර්යමත් සිදුවීමක්‌ විය. චීන ජාතික ත්සායිලුන් සොයාගත් කඩදාසි උපයෝගී කර ග්ලිටන්බර්ග් විසින් නිපදවූ මුද්‍රණ යන්ත්‍රයේ පළමුවන මුද්‍රණය වූවේ ශුද්ධ වූ බයිබලයයි.

මුද්‍රණ කර්මාන්තය බිහිවූ පසු බ්‍රිතාන්‍යයේ ග්‍රන්ථ පිළිබඳ අලුත් යුගයක්‌ ආරම්භ විය. මේ නිසා ලේඛකයින්, විද්වතුන්, විද්‍යාඥයන් හා ප්‍රාඥයින් ග්‍රන්ථකරණයට පිවිසියහ. සිය අදහස්‌ හා සොයාගැනීම් ග්‍රන්ථාරුඪ වීම නිසා ක්‍රි.ව. 1753 දී බ්‍රිතාන්‍යයේ කෞතුකාගාර පුස්‌තකාල ක්‍රමය ඇරඹිණ. මෙම පුස්‌තකාල බ්‍රිතාන්‍ය රජය මගින් රාජකීය පුස්‌තකාල බවට පත්කළ අතර එහි පළවන සෑම ප්‍රකාශනයකම පිටපතක්‌ පුස්‌තකාල සංගමයට නොමිලයේ ලබා දිය යුතු බවට නීතියක්‌ද පැනවීය. මෙය තවත් වර්ධනය කරමින් බ්‍රිතාන්‍ය රජය ක්‍රි.ව. 1850 දී බ්‍රිතාන්‍ය රාජකීය පුස්‌තකාල පනත ඇති කළ අතර ඒ අනුව පුස්‌තකාල ක්‍රමය ආරම්භ විය. මෙය වර්තමානයේදී ද භාවිත කෙරේ. මේ වන විට නොයෙක්‌ විෂයයන් අලලා විවිධ මාතෘකා යටතේ පුස්‌තකාල ලොව පුරා පවත්වාගෙන යනු ලබන අතර දැනට ලොව විශාලතම පුස්‌තකාලය ලෙස සළකනු ලබන්නේ ඇමරිකානු කොන්ග්‍රස්‌ පුස්‌තකාලයයි. ඇමරිකා එක්‌සත් ජනපදයේ වොෂින්ටන් නගරයේ කැපිටල් හිල්හි 1800 අප්‍රේල් 24 වැනිදා ආරම්භ කරන ලද මෙම පුස්‌තකාලය දැනට ලොව පුරා විහිදී ඇති පුස්‌තකාල අතරින් ප්‍රථම ස්‌ථානය ගනී. නවීන තාක්‍ෂණයට අයත් ශ්‍රව්‍ය දෘෂ්‍ය ද්‍රව්‍ය හා මාධ්‍ය හා සම්බන්ධ ද්‍රව්‍ය හා විවිධ කැසට්‌ CD, DVD හඬ පටි ආදියත් ලොව පුරා විහිදී ඇති රූපවාහිනී නාලිකා සහ වැඩසටහන්, තොරතුරු මෙන්ම නොයෙකුත් විද්වතුන් ආදීන් රාජ්‍ය නායකයන් සුප්‍රසිද්ධ පුද්ගලයන් හා විද්වතුන් ආදී පිළිබඳ ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් පිළිබඳවත් තොරතුරු එකතුවක්‌ මෙහි ගබඩා වී ඇත. සත්‍ය වශයෙන්ම මෙය පුස්‌තකාලයකටත් වඩා පුස්‌තකාල කෞතුකාගාරයක්‌ වැනිය. ඇමෙරිකානු ඉතිහාසය හා වාර්තා, පුද්ගල තොරතුරු, පාර්ලිමේන්තු වාර්තා, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙන්ම ඡායාරූප ආදියත් අන්ධ ජනයා සඳහා බ්රේල් ක්‍රමයේ ග්‍රන්ථ මෙන්ම වර්තමාන අන්තර්ජාල තොරතුරු ද මෙම පුස්‌තකාලයේ ඇත. ලෝකයේ ඕනෑම පුද්ගලයකුට මෙම පුස්‌තකාලය පරිහරණය සඳහා ඉඩ සලසා ඇත.

පුස්‌තකාල අතර රුසියාවේ ලෙනින්, ලන්ඩන්හි බ්‍රිතාන්‍ය පුස්‌තකාලය, බර්ලින් පුස්‌තකාලය, ජර්මන් ප්‍රසිද්ධ පුස්‌තකාලය ලොව සුප්‍රසිද්ධ පුස්‌තකාල ලෙස ප්‍රචලිතය. ශ්‍රී ලංකාවේ පුස්‌තකාල ඉතිහාසය සිංහල, රාජ වංශය දක්‌වා විහිදී යන අතර "පොත්ගුල්" ලෙස අතීතයේ විහාරාරාම ආශ්‍රිතව තිබූ පොත්ගුල ආදී දැනුම බෙදා දෙන ස්‌ථාන අද සංවර්ධන හා ඉගෙනුම් මධ්‍යස්‌ථාන ලෙස අන්තර්ජාල නවීන පහසුකම් සහිතව ස්‌ථාපිත වෙමින් පවතී. ලංකා පුස්‌තකාල ඉතිහාසයේ 1890 දී පිහිටුවන ලද පුරාවිද්‍යා පුස්‌තකාලය ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගනී. පුරාවිද්‍යාව, මානව විද්‍යාව, ඉතිහාසය, දර්ශණය ආදී විවිධ විෂයයන් අලලා ග්‍රන්ථ 40,000 ක්‌ පමණ මෙහි තැම්පත්ව තිබේ. පුරා විද්‍යාව සම්බන්ධ පර්යේෂණයන් සඳහා අවශ්‍ය ග්‍රන්ථ වෙනුවෙන් මෙහි විශේෂ ඉඩකඩ සලසා තිබේ.

අග්නිදිග ආසියාවේ විශාලතම පුස්‌තකාලය ගැන ශ්‍රී ලාංකික අපි ආඩම්බර වෙමු. එහෙත් අපගේම වරද නිසා දසක තුනකට පෙර වූ සිවිල් යුද්ධයකදී යාපනය පුස්‌තකාලය අපට අහිමි විය. ඒ පිළිබඳ අප කනගාටු විය යුතුය.

දැනට වත්මන් ලංකාවේ විශාලතම පුස්‌තකාලය ලෙස සටහන්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්‌තකාලයයි. 1921 දී යුනිවර්සිටි කොලේජ් පුස්‌තකාලය ලෙස කොළඹ තර්ස්‌ටන් පාරේ ගොඩනැගිල්ලක ආරම්භ කළ මෙය 1942 දී ලංකා විශ්වවිද්‍යාල පුස්‌තකාලය ලෙස ස්‌ථාපිත විය. 1952 දී ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන යන ලදුව එම පුස්‌තකාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෙන එනු ලැබීය. ප්‍රධාන පුස්‌තකාලය හා සම්බන්ධ අනු පුස්‌තකාල 5 කින් යුත් මෙම අනගි පුස්‌තකාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරයට යාව ගලහ පාරේ පිහිටා තිබේ. සමාජ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, මානව විද්‍යාව, ශාස්‌ත්‍ර, දර්ශනය හා වෙනත් විෂයන් පිළිබඳ අධි පර්යේෂණ නිබන්ධන, වාර ප්‍රකාශ හා දුර්ලභ ග්‍රන්ථ එකතුවකින් අතීත, වර්තමාන, තොරතුරු හා ප්‍රකාශන රාශියක්‌ මෙහි තැම්පත්ව ඇති අතර අධ්‍යයන හා පර්යේෂණ පහසුකම්ද නවීන තාක්‍ෂණික පහසුකම්ද සලසා ඇත. පසුගිය වසර වන විට මෙහි මිලියන 7 කට ආසන්න ග්‍රන්ථ සංඛ්‍යාවක්‌ තැම්පත්ව ඇති අතර එයින් ප්‍රයෝජන ගන්නා ප්‍රමාණය අති විශාලය.

ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය හා සම්බන්ධ ජාතික කෞතුකාගාර පුස්‌තකාලය ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතියේ දැනුම බෙදාදෙන මධ්‍යස්‌ථානය ලෙස සැලකේ. 1877 ජනවාරි 01 දින ජාතික කෞතුකාගාරය කොළඹදී ආරම්භ කළ අතර එදිනම පුස්‌තකාලය ආරම්භ කරන ලදී. මීට පෙර කොළඹ පිහිටුවා තිබූ ප්‍රාචීන පුස්‌තකාලය හා රාජකීය ආසියාතික සංගමයේ පුස්‌තකාලය ඒකාබද්ධ කොට මෙය පිහිටුවන ලද අතර මෙහි ක්‍රි.ව. 850 වැනි කාලයේ පටන් පැරණි පොත් හා පැරණි පුස්‌කොළ පොත් අතර ඉතා විශාල ප්‍රමාණයක්‌ විවිධ විෂයන් යටතේ ලියවී ඇති අතර එය මෙහි එම ග්‍රන්ථ මෙයට අයත් වේ. 1737 පළ වූ ලන්දේසි යාÆ පොත මෙහි පැරණිම ග්‍රන්ථයයි. 13 වන සියවසට අයත් චුල්ලවග්ග පාලියද මෙහි තැම්පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගලයන් රාශියක්‌ සතුව තිබූ පුරාණ පුස්‌කොළ පොත් රාශියක්‌ ද මෙම පුස්‌තකාලයේ අඩංගු අතර 1885 දී මුද්‍රණ ආඥකරුවන්ගේ පනත යටතේ මෙරට පළවන සෑම ග්‍රන්ථයකම පිටපතක්‌ තැම්පත් කළ යුතු යෑයි නියෝගයක්‌ද ඇත. විමර්ශන පුස්‌තකාලයක්‌ වන කෞතුකාගාර පුස්‌තකාලය දැනුම සොයන්නන්ට ක්‍ෂේම භූමියකි.

පුස්‌තකාල ගැන සඳහන් කිරීමේදී කොළඹ මහජන පුස්‌තකාලය ද වැදගත් වේ. 1874 දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් කොළඹ කොටුවේදී කොළඹ පුස්‌තකාලය ලෙස එය ආරම්භ වූ අතර 1913 දී එක්‌සත් සේවා පුස්‌තකාලය ද, 1924 පිටකොටුව පුස්‌තකාලය ද ඔවුන් විසින් ආරම්භ කළ අතර කොළඹ තැන තැන පිහිටි මෙම පුස්‌තකාල තුනම ඒකාබද්ධ කර 1925 දී කොළඹ මහජන පුස්‌තකාලය පිහිටුවන ලදී. කොළඹ මහජන පුස්‌තකාලයේ ප්‍රථම පුස්‌තකාලාධිපති වන්නේ එස්‌. සී. බිලොන් මහතාය. පළමුව එය පිටකොටුවෙත් පසුව කොළඹ කොටුවේ තැපැල් සංකීර්ණයේ ගොඩනැඟිල්ලකත් තිබූ අතර ඊටත් පසුව කොළඹ කොටුවේ ශා. පීතර දේවස්‌ථාන ගොඩනැඟිලි පරිශ්‍රයටද, නැවත තැපැල් සංකීර්ණයටද, පසුව මාකස්‌ ප්‍රනාන්දු මාවතේ සිරි නිවසේත් පැවැති මහජන පුස්‌තකාලය 1980-09-16 තෙක්‌ එහි පවත්වා පසුව කොළඹ මාකස්‌ ප්‍රනාන්දු මාවත සහ ආනන්ද කුමාරස්‌වාමි මාවතට මුහුණලා ඇති යුද ස්‌මාරකය අසල ගොඩනැඟිල්ලට ගෙන ආහ. සමස්‌ත ශ්‍රී ලංකාවේ ජනතාවට දැනුම, අවබෝධය බෙදා දෙමින් තොරතුරු ලබා දෙමින් කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන වදන සැබෑ කිරීමට කොළඹ පුස්‌තකාලය සැදී පැහැදී සිටී.

මීට අමතරව පුස්‌තකාල සඳහා විශාල සේවයක්‌ කරන ජාතික ලේඛනාගාරය හා ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන මධ්‍යස්‌ථානයද පුස්‌තකාල සඳහා අනගි සේවයක්‌ කරන රාජ්‍ය ආයතන වේ. පුස්‌තකාල ගැන සොයා බැලීමේදී පුස්‌තකාලයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධයක්‌ තිබීම වැදගත් වේ. ලෝකයේ එක්‌ එක්‌ රටවල පුස්‌තකාල විද්‍යාවට සම්බන්ධ විද්වතුන් විසින් පුස්‌තක වර්ගීකරණ ක්‍රම හඳුන්වාදී තිබේ. ඩීවී දශම වර්ගීකරණය, කාටර්ගේ පුළුල් ක්‍රමය, කොංග්‍රස්‌ සිස්‌ටම් ක්‍රමය, බ්‍රවුන්ගේ විෂයානුබද්ද ක්‍රමය, විශ්ව දැනුම ක්‍රමය, රංගනාදන් දෙතිස්‌ වර්ගීකරණය යන ක්‍රම දැනට භාවිත වේ. එහෙත් ඇතැම් බොහෝ රටවල් ඩීවී දශම ක්‍රමය භාවිත කෙරේ. වඩාත්ම ජනප්‍රියම වර්ගය වන්නේ ද ඩීවී ක්‍රමයයි. 1851 දී ඇමරිකාවේදී උපත ලද මෙල්වින් ලුවිස්‌ කොසුන් ඩීවී විසින් ඇමහර්ස්‌ විශ්වවිද්‍යාලයේදී සකස්‌ කරන ලද පොත් වර්ගීකරණය ඉතා සාර්ථක වූ නිසා එම ක්‍රමය 1876 දී ඩීවී ක්‍රමය ලෙස ලොව පුරා පිළිගැනිණ. සාරාංශ තුනක්‌ ලෙස ඩීවී වර්ගී ක්‍රමය ඇති අතර එහි පළමු සාරාංශයට පොත් වර්ග පන්ති 10 ක්‌ ඇතුල් කර ඇත. 000 - පොදු කෘති, 100 - දර්ශන හා ක්‍ෂෙත්‍ර කෘති, 200 - ආගම්, 300 - සමාජ විද්‍යා, 400 - භාෂා, 500 - ශුද්ධ විද්‍යා, 600 - තාක්‍ෂණික විද්‍යා, 700 - කලාව, 800 - සාහිත්‍ය, 900 - භූගෝල විද්‍යා, මේවා නැවත උප බෙදුම්වලට බෙදා ඇත. මේ නිසා ක්‍රමවත් හා විධිමත් බවක්‌ පුස්‌තකාල තුළ මෙයින් පෙනේ.

එසේ වර්ගීකරණය කරන ලද පොත් බැහැර ලබාදීමද ක්‍රමවත්ව සිදු නොවේ නම් එතන අවුලක්‌ සිදු වේ. ඒ නිසා පොත් බැහැර දීමේ ක්‍රම දෙකක්‌ ප්‍රකාශයට පත්කර ඇත. (1) නෙවාක්‌ (Newak) (2) බ්‍රවුන් (Brown) නම් වේ. නෙවාක්‌ ක්‍රමයේදී පොතේ විස්‌තර කොළයක ලියා දිය යුතු විය. මෙය කාලය අපතේ යන කාර්යයක්‌ නිසා වැඩිපුර භාවිතා වනුයේ ඊරදඅබ ක්‍රමයයි. දැනට ශ්‍රී ලංකාවේ සියලුම පුස්‌තකාල මෙම ක්‍රමය භාවිත කරන නිසා පොතේ පොකට්‌ටුවේ තිබෙන විස්‌තරය සාමාජික පොකට්‌ටුවේ බහා දාතම යොදා පාඨකයාට පොත් බැහැර ගෙන යැමට ඉඩ දේ. දාතම අනුව එම පොකට්‌ටු පසුව වර්ගීකරණය කෙරේ. එහිදී වර්ග අංකය අනුව අසුරා තබයි. එකම වර්ග අංකය යටතේ පොත් කීපයක්‌ තිබුණ ද ඒවා "අකාරාදි" පිළිවෙළට කර්තෘ නාමය යටතේ ආපසු බාර දිය යුතු පිළිවෙළට අසුරනු ලැබේ. මේ ක්‍රමය ලංකාව ආදී බොහෝ රටවල් අනුගමනය කෙරේ.

මේ අනුව පුස්‌තකාල විද්‍යාවේ පියා ලෙස හැඳින්වූ මදුරාසි විශ්වවිද්‍යාලයේ ප්‍රථම පුස්‌තකාලයාධිපති ලෙස පත්වූ ඉන්දියානු ජාතික එස්‌. ආර්. රංගනාදන් මහතා පුස්‌තකාල විද්‍යාව පිළිබඳ සකස්‌ කළ නීති 5 පිළිබඳ අප ගැඹුරින් සිතා බැලිය යුතුය. (1) පොත් ඇත්තේ භාවිතය සඳහාය, (2) සෑම පාඨකයකුටම පොතක්‌ ඇත. (3) සෑම පොතකටම පාඨකයෙකු ඇත. (4) පාඨකයාගේ කාලය ඉතිරි කළ යුතුය. (5) පුස්‌තකාලය වැඩෙන සංවිධානයකි. එබැවින් මෙම වැඩෙන සංවිධානයෙන් වැඩිපුර පොත් ලබා තම ප්‍රඥව, දැනුම, බුද්ධිය වැඩිකර ගැනීම නිසා රටක්‌ දියුණුව කරා ගෙනයැමට සමත් පරපුරක්‌ බිහිකරනු ඇත.

 

No comments:

Post a Comment